Friday, April 1, 2016

අලිසීන් - ChemEx අතරතුර ආතල්


එතරම් ආතල් නැතත් මේ කතාව සඳහා අවශ්‍ය පසුබිම් කරුණු කීපයක් කලින් පෝස්ටුවේ සාකච්ඡා කරන ලදී. ඉහත අයුරින් සූදානම් වූ පසු, ප්‍රදර්ශණය පටන් ගැනීමට පෙර දින අප විසින් සියලු රසායනික ද්‍රව්‍ය, සාම්පල් හා කෙහෙල් ගෙඩි සූදානම් කර තබාගන්නා ලදී.  නත්තල් පාටිය ගැන කතා කල පෝස්ටුවේ පරිදි අහංකාරවතී මැතිනියගේ ද ආධාරයෙන් සියලු බඳුන් හා බෝතල් සෝදා ලේබල් කරගන්නා ලදී. කලින් මිලට ගෙන තිබූ teepol බෝතලයෙන් ස්වල්පයක් ජලයේ දිය කර ගැනීමෙන් සෛල පටල හා න්‍යෂ්ඨි පටල ඉවත් කරන ද්‍රාවණය ද, අන්නාසි ලෙලි බ්ලෙන්ඩර් කර තනා ගත් ප්‍රෝටීන ජීරක එන්සෛම ද ඉහත බෝතල් වලට දමා විද්‍යාගාරයේ වූ ශීතකරණයේ තබා අලියා නිවසට ගියේය.

පසුදා පාන්දර හතර හමාරට අවදි වූ අලියා සූදානම් වී, අතේ ගෙන යාමට අමුතුවෙන් කුකුලෙක් අවශ්‍ය නැති බැවින් අලියා ම රසායනායතනයට යාමට පිටත් විය. යන අතරමගදී කෙසෙල් කඩයක් ලඟ නැවතුනු අලියා කෙසෙල් ගෙඩි පහක් ම්ලයට ගත්තේය. ඉන් තුනක් ආමාශ ගත කරගත් අලියා ඉතිරි දෙක පොලිතින් කවරයක දමාගෙන රසායනායතනයට පැමිණියේය. ඉන්පසු අලියාගේ ඒකකයට ලබා දී තිබූ කාමරයේ පිටුපසට ගිය අලියා කෙසෙල් ගෙඩි දෙක ලෙලි ඉවත් කර, නැවත පොලිතින් කවරයට දමා, බෑගයේ දමාගෙන ආ මිටියෙන් විසිතිස් පාරක් තඩිබෑමෙන් චප්ප කරගන්නා ලදි. පසුව මෙයට ඉහත කී ද්‍රාවණ එකතු කර කෙසෙල් සෛල වල DNA ලබා ගන්නා ලදී (කියා සිතා ගතිමු). ඉහත මිශ්‍රණයේ සුවඳ ඉවසා ගත නොහැකි වූ ඇන්ටා නහය වසාගෙන පසු නොබලා දුවන්නට විය.

පිරිස නිසි වෙලාව පැමිණි කල්හි තම ඒකක වල ස්ථාගත වූහ අලියා ද තම සහායට ලබා දී සිටි නංගිලා තුන්දෙනා සහ අනිත් සාමාජිකයන් සමග තම තමන්ගේ තැන් වල ස්ථාන ගත විය. මද වෙලාවකින් කවුදෝ පැමිණ "අයියෝ අන්න ළමයි එනව" කීමත් සමග ඒ ආතල් සාගරය ආරම්භ විය.

ඡායාරූපය

මෙය ඇත්ත වශයෙන් ම සිදු වූයේ ප්‍රදර්ශණය ආරම්භ වීමට පෙර ය. අතීසාර මිතුරෙකු හමු වීමට වෙනත් ඒකකයකට ගිය අලියා, එහි ඡායාරූපයක් ගැනීමට උත්සහ කිරීම නිසා දැඩි අපහසුතාවයට පත් විය. මන්ද යත් අලියාගේ ඡායාරූපයට එහි සිටි  (නමට) ගැහැණු ළමයෙකු හසු වීමයි. (මෙතැන් සිට මායා නමින් හඳුන්වනු ලැබේ, හින්දු දෙවඟනකගේ නමක් ඇසුරිණි) අලියා කරුණු පැහැදිලි කර දීමට තැත් කලද ළමයා දිගින් දිගටම මූණ හට්ටියක් සේ කරගෙන සිටි බැවින් රෝහල් ගත වීම වලක්වා ගැනීම සඳහා එතනින් මාරු වී අලියා ගේ ඒකකයට ගොස් හිත හදා ගත්තේය.

දින තුනක් පැවැත්වුණු ප්‍රදර්ශණයේ දෙවන දා උදේ අලියා තම ඒකකයට පිවිසීමට අදාල දොර අසලට ගොස් දොර තල්ලු කිරීමට එයට අත තිබ්බේය. එකිණෙහිම අලියාගේ සර්වාංගය සීතල වී ගියේය. මන්දයත් කලින්දා මේ වලිය ඇදගත් ළමයා අලියා ඉදිරියෙන් සිටගෙන සිටියේය. වෙව්ලන අතින් අල්ලාගෙන සිටි දොර, උලු අස්සේ වැදී සට සට ගාන්නට විය.

දුවන්නට අනෙක් පස හැරුණු කල්හි ඒ මහත්මියගේ මිතුරියන් දෙදෙනෙක් බලා සිටි බැවින් දුවන්නට අතක් ද ඇති බවක් නොපෙනුනි.

දැන් වදිති දැන් වදිතියි අලියා බලා සිටියදී මායා දොර ඇරගෙන පැමිණ අලියා ඉදිරියේ සිටගත්තාය. අලියා ජංගම දුරකථනයක් vibrate වන්නා සේ වෙව්ලන්නට පටන් ගත්තේය. උරස් කුහරය තුලින් බස් එකක් යනවාක් වැනි සද්දයක් ඇසෙන්නට පටන් ගති ("නටන සෙ ඇංජිමක් බසයෙකැ ගමනැ සැදූ"). මායා දිගින් දිගටම අලියාට ආසන්න විය.

අඩියක් පමණ ආසන්න වූ මායා කිසිවෙක් නොසිතූ පරිද්දෙන් අලියා වෙත සංයුක්ත ඩිජිටල් කැමරා කටුවක් දිගු කර,




Can you please take a photo of us? කීවාය.

මායා හා පිරිස අලියා ඉදිරියේ ලයිට් කණු මෙන් හිටගෙන සිටින අයුරු යන්තම් මතකය. සැනෙලි ආලෝකය ද පත්තු වෙනවා මතකය. ඉන්පසු වූ කිසිවක් අලියාට මතක නැති අතර සිහි එලවාගන්නා විට ඌ වැසිකිලිය තුල සිටියේය.

පොලිමර් අංකල්

මෙහි පැමිණි එක එක ජාතියේ ඩයල් වලට කරුණු පැහැදිලි කරමින් සිටි අලියාට යම් විවේකයක් ලැබෙන විට යන්තං දොලහමාර විය. අලියාගේ ඒකකය සහිත ශාලාව තුල සෙනග ද අඩු වී ගියේය. වැඩි දෙනා ආහාර වන්දනාවේ ගිය අතර ඉතිරි වූයේ අලියාත් තව හතරපස් දෙනෙකුත් පමණි. අලියා බලාගත්ත අතේ බලාගනිමින් සිටියදී මදක් වයසක අංකල් කෙනෙක් පැමිණ අලියා ඉදිරියේ සිටගති. මදක් කතා කල කල්හි ඒ මහතා ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු බව දැන ගත හැකි විය. ඊලඟට අලියා ගිරවෙකු මෙන් උගේ පැහැදිලි කිරීම කියවාගෙන ගියේය. අතරමගදී අලියා DNA වල රසායනික ස්වාභාවය ද පැහැදිලි කරන්න පටන් ගති. අලියා පැහැදිලි කිරීමට උත්සහ කලේ DNA යනු ජෛව බහුඅවයවකයක් (polymer) බවයි.


පොලිමර් යන වචනය ඇසුනු සැනින් එක්වරම ඒ මහතා චූන් විය. "පුතා පොඩ්ඩක් ඉන්නකො" කී ඒ මහතා තමා ගෙන ආ බෑගයෙන් අඟල් දෙකක් පමණ ඝනකම පොතක් එලියට ගත්තේය. එකිණෙහිම අලියාගේ දණහිස් මැන්ඩලින් ගහන්නට ගත් අතර වටපිට බැලූ කල්හි අලියාගේ සගයෝද මහසෝනා දුටුවන් මෙන් අලියා හා අංකල් දෙස බලා සිටිනු දැකිය හැකි විය.



අලියා ද "මලා මූ අදනං කලිසම තෙත් වෙන්නම අහන්න යන්නෙ" යි සිතා සිටියදී අංකල් පොත පෙරලා එහි පිටුවක් අලියාට පෙන්නුවේය. පොත දෙස හොරැහින් බැලූ අලියාට දැකගත හැකි වූයේ පොඩි ළමුන්ගේ පෙලපොත් වැනි පින්තූර සහිත පොතක් බවයි.

ඒ මහතා එම පිටුවෙන් පොලිමර් යන වචනය අලියාට පෙන්වා, "පුතා what is a polymer" කියා ඇසුවේය.

ඕක අහන්න ඔය තරම් පොතක් එලියට ඇදලා ගැනීමට වෙහෙස වූ අංකල්ද, ඒක දැක බය වූ අලියා හා පිරිසද පවු දෙයියනේ කියා දැන් සිතේ.

තට්ට මහතා


ශාලාව තුල පිරිස අඩු වූ මොහොතකදී කල්පනාවේ නිමග්නව සිටි අලියා අසලට අලියාගේ එක් සගයෙක් පැමිණියේය. එසේ පැමිණි සගයා ඉතා ප්‍රවේසමෙන්, මදක් දුරින් සිටගෙන සිටි තට්ටය සහිත පුද්ගලයෙකු පෙන්වා සිටියේය.



සගයා: "මේ අර ඩයල් එක දන්නවද?"

අලියා: "නෑ කවුද?"

සගයා: "මිනිහට PhD ම දෙකක් තියනවලු? MBBS එකකුත් තියනව"

අලියා: "නෑහ් සිරා?"

මෙයින් පැය කීපයකට පසු අලියාගේ ඒකකයේ වෙනත් සගයෙක් අලියා අසලය පැමිණියේය.

සගයා2: "මේ? අයියෙ? දන්නවද? මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ!"

අලියා :"ඇයි මොකද්ද කචල් එක?"

සගයා2: "එක්කෙනෙක් physical chemistry unit  එකට ගිහිල්ල LASER ගැන මොකද්ද ප්‍රශ්ණයක් අහල. ඒ ළමයි දන්නෑලු කියාගන්න "

අලියා:"නෑ! ඉතිං?"

සගයා2 : "ඉතිං අයියෙ උදය සර්ව එක්කං ඇවිල්ල තමා explain කරල තියෙන්නෙ"

අලියා: "හ්ම්, මිනිහ මෙහාටත් එන්න බැරි නෑ කවුද ඩයල් එක?"

සගයා2: "මම දන්නෙත් නෑ. තට්ටෙ තියන ඩයල් එකක්. හෙණ පට්ටං ගොඩක්ලු තියෙන්නෙ!"

අලියා නැවතත් කල්පනාවේ නිමග්න විය.

ඒ මාරාන්තික මොහොත උදා වූයේ පැයකට පමණ පසු ය.

රසායනායතනය විසින් නොමිලේ සැපයූ ලිපිලේඛන මගින් ග්‍රසනිකාවටම ආහාර ගත් අලියා, තම ඒකකයට පැමිණ විවේක සුවයෙන් සිටියදී දුටු දර්ශණයෙන් තිගැස්සී සිටියේය.

එක්වරම, දොරකින් මතු වූ යම් දිලිසෙනසුළු වස්තුවක්, අලියා වෙතට පැමිණ නතරවිය. ඇස් පිස දමා බැලූ කල්හි දිලිසෙන වස්තුවට යටින්වූ අතපය පැහදිලි විය.

අලියා ඉදිරියේ සිටගත් පුද්ගලයා,  අලියාට ඉතා මාරාන්තික ප්‍රශ්ණයක් යොමු කලේය. බලාපොරොත්වු නොවූ මේ ප්‍රශ්ණයෙන් අලියා කරකැවී ගියේය. කෙසේ වෙතත් මදක් කල්පනා කිරීමෙන් අනතුරුව යම් පිලිතුරක් දී ශේප් විය හැකි විය.

පුද්ගලයා ගිය කල්හි අලියාගේ මිතුරෙක් අලියා වෙත ලං විය.

මිතුරා: "ඔය අර ලේසර් එකේ අයව කොර කලා කිව්ව ඩයල් එකද?"

අලියා: "ඔවු ලු නේ"

මිතුරා: "මිනිහ මොනාද ඇහුවෙ?"

අලියා ඉතා සත්‍යවාදීව මිතුරාට පිලිතුරු දුන්නේය.

"මිනිහ ඇහුව Polymer unit එක තියෙන්නෙ කොහෙද කියල. මම කිව්ව යට තට්ටුවේ බලන්න කියල"

මිතුරා: "අයියෝ බං, ඔය වගේ ඒව ඇහුවම මොකක් හරි පැත්තක් පෙන්නල යවන්න ඕන!"

මේ ආකාරයේ සත්‍ය කතා රාශියකි. මතක් වන පරිදි කියනු ලැබේ.

14 comments:

  1. හැක් අලියටත් වෙන වැඩ, ගෑනු ලමයින්ගේ පොටෝ ගන්න ඔච්චරම බයද? ටොයිලට් දුවපු එක නම් සැහෙන්න ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් මේ කියන ගෑනුළමයගෙ :D
      මං පස්සෙ එයා ගැන ලියන්නංකො එතකොට තේරෙයි :D

      Delete
    2. හැක්......අලිය හෙන කපටිය නේ...

      Delete
    3. එහෙමටම නං නෑ නමුත් මොකෑ බං එහෙම කිව්වෙ :O

      Delete
    4. නිකමට වගේ හිතුන...හැක්

      Delete
    5. ගින්නක් නැතුව දුමක් නගින්නෑ කියනවනෙ අායිබොවන්ඩ!

      Delete
    6. හෙක් හෙක් ඔය පාන්නේ බලල මල්ලෙන් එලියට. සුබ අලුත් අවුරුද්දක් වේවා අලියෝ. :D

      Delete
    7. මේක අැවිල්ල දීර්ඝ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රපංචයක්!
      සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  2. මොකක්ද අලියො අර පොටෝ ගන්න ගිහිං උනේ..??

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං ඊයෙ මළපැනපු එකා අද කැමරාවක් දීල photo එක ගනිං කිව්වම උතුර දකුණ මාරු නොවෙන එකෙක් ඉන්නවද නංගියෙ :D

      Delete
  3. ඒ බං. අර "මායා සහ මල්පාත්තිය" පිංතූරෙ දාහංකො බ්ලොග් එකේ...

    ReplyDelete
    Replies
    1. ගත්ත අවස්ථාවෙන් පසු එ් පින්තූරය කවදාවත් දැක්කේ නැත! දැක්කත් මේකෙ දැම්මොත් කතන්තරය නවතින්නේ මායා විසින් අලියා හමගැසීමෙනි :) මායා මහත්මිය ව දන්නෝ එ් බව දනිති :D
      හැබැයි හොඳ යාලුවෙක් එයා

      Delete
  4. මිනිහ ඇහුව Polymer unit එක තියෙන්නෙ කොහෙද කියල. මම කිව්ව යට තට්ටුවේ බලන්න කියල"

    මිතුරා: "අයියෝ බං, ඔය වගේ ඒව ඇහුවම මොකක් හරි පැත්තක් පෙන්නල යවන්න ඕන!"///
    අලියටම ගැලපෙන යාළුවෙක් කියහංකො
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මගෙම පලුවක් තමා උෟ :D මං තරම්ම සයිස්

      Delete