Wednesday, June 26, 2013

අලිසීන් - ගමන් මග 02

පස්යාලේ සිටියදී අප නිවස අවට තිබුනේ නිවෙස් කීපයකි. මතක පරිදි හතරකි

මින් එක නිවසක සිටි ඇන්ටි සහ අංකල් ආසන්න නගර වල වූ පාසල් වල ගුරවරු වූහ. ඒ ඇන්ටි එවකට ඉගන්වුවේ උසස් පෙල ජීව විද්‍යාවයි. මේ යුවලට පොඩි බට්ටන් දෙදෙනෙකු ද සිටි අතර එම නිවසේ පූසෙක් ද විය.

පූසා අලියා සමග විශේෂ හිතවත්කමක් හෝ තරහක් බයක් නොවීය

අලියා පහ වසරේ සිටින කාලයේ සිට ම එකල ජනප්‍රිය ළමා පත්තරයක්  මිලදී ගැනීමට පුරුදු ව සිටියේය. ඇත්තෙන්ම මෙලෙස කිරීමට උපදෙස් දෙන ලද්දේ පහවසරේ දී ඉගැන්වූ රෝහණ සර් ය.

ජෛව විවිධත්ව දිනයක් සඳහා මෙහි පලකල ප්‍රශ්ණ සහ උත්තර වගයක් අහම්බයෙන් නෙත ගැටුනි. කියවාගෙන යන අතරේ එහි වූ ප්‍රශ්ණ දෙක තුනක් අලියාගේ අවධානයට ලක් විය.

ප්‍රශ්ණ තුනම මතක නැත, එකක අසා තිබුනේ DNA වල සංඝටක මොනවාද යනුවෙනි. පොස්ෆේට් ඛාණ්ඩය, පෙන්ටොස් සීනි ඛාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම යන පිලිතුර ද සනිටුහන් කර ගතිමි.

දෙකයි හතලිස් පහට ගෙදර පැමිණ නාගෙන කෑම කා නිදාගත් පසු, හවස හතරට ඇහැරුණු වහාම ගියේ අල්ලපු ගෙදර ටීචර් ඇන්ටිගේ ගෙදර ය. කෙලින්ම නිවසට ගොස් ඇන්ටී හමු වූ  අලියා (දෙන දෙයක් කා අනතුරුව) කෙලින්ම කාරණයට බැස්සේය....

"ඇන්ටි මට DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"

- "ංඈ???????"

"DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"

- "දෙන්නං... මං ප්‍රශ්ණයක් අහන්නද?"

"මොකද්ද ඇන්ටි?"

-"DNA කියන එකේ තේරුම මොකද්ද?"

"Deoxyribo Nucleic Acid"

-"හරියට හරි... එහෙනං පොඩ්ඩක් ඉන්න..."

කාමරයට ගිහ ඇය එලියට ආවේ පොත් දෙකක් ඇතුවය.

"මේක බලන්නකො? පස්සෙ වෙලාවක ගෙනත් දෙන්න.."

ගෙදර ගෙනා සැනින් පොත් ටික විසිතිස් වතාවක් පට්ට ගසන ලදී. එහි වූ පොස්ෆේට් ඛාණ්ඩ, නයිට්‍රජනීය භෂ්ම ඛාණ්ඩ, Ribose හා Deoxyribose ඇතුලු විවිධ අණු ගණනාවක ව්‍යුහ ගෙදර වූ අඩක් ලියා අවසාන කර තිබූ පොත් පත් වලට පිටපත් විය.

තවද මෙය ලියන අවස්ථාවට සති දෙකයි දවස් තුනකට පෙර ඉගෙනගත් ග්ලයිකොලිසිය, තව දවස් හතරකින් උගන්වතියි සිතිය හැකි ක්රෙබ්ස් චක්‍රය ආදී ප්‍රතික්‍රියා ද එලෙසම පිටපත් කරගන්නා ලදී.

මේ පිටපත් කල ව්‍යුහ හා ප්‍රතික්‍රියා ලියූ පොත් පිටු බලාගෙන අලියා කල්පනා කලේ එකම එක කරුණකි.

"දැං මං කොහොමද මේ සංයෝග හදන්නෙ?"



මේ දිනවල තමත් වැදගත් වැඩක් සිදුවිය, එනම් The X Files හාThe Incredible Hulk විකාශය වීමට පටන් ගැනීමයි.

The Incredible Hulk හි සිටින වෛද්‍යවරයා ගැමා විකිරණ වලට නිරාවරණය වේ. එබැවින් සිදුවන DNA විකෘතිය නිසා මොහුගේ පුෂ්පය විකසිත වන සෑම අවස්ථාවකම කොළපාට යෝධයෙක් බවට පත් වේ.




"Genetics වලිං මේ වගේ එකෙක්ව හදාගත්තොත් ඌට කියල  මගෙං ගේම ඉල්ලන උංව අල්ට්‍රාෆ්ලැට් කරෑකි නේ..." අලියාට සිතුනි.

දිනක් අලියා කුස්සියේ දොරකඩ ෆුල් ෆන් එකේ සිටියදී ගේ පැත්තට අමුත්තෙක් එන බව පෙනුනි. නිවී සැනසිල්ලේ පැමිණි තැනැත්තා අලියාට ආමන්ත්‍රණය කලේය...



"ඤාව්!"


අලියාද පැමිණි තැනැත්තා සමග කතාවට වැටුනි.

-"ඤාව්"

පැමිණි තැනැත්තාට කෝපි කොලයක් උඩ තැබූ කුඩා කුකුල් මස් කෑල්ලකින් සංග්‍රහ කරන ලදී. ඒ මහතා සංග්‍රහය භුක්ති විඳින අතරේ අලියාට මෙබඳු අදහසක් පහල විය.

"මූව Clone  කරන්න ට්‍රයි කරොත් නරකද?"





අලියා කියවා තිබූ තරමින් කෙස් වල DNA තිබේ. අපරාධ ස්ථාන වලින් ලබා ගන්නා කෙස්, ලේ හා තව ඔය මොනමොනාහරි වල ඇති DNA වලින් එම ද්‍රව්‍ය අයිති තැනැත්තා පිලිබඳ අදහසක් ලබාගත හැකිය. විශේෂයෙන්ම, සැක කරණු ලබන කෙනෙකුගෙන් ලබාගත් DNA සමග සැසඳීමට හැකිය.





(විද්‍යාගාර පරීක්ෂණ වලින් පහත පරිදි රටාවක් ලැබේ. මෙය DNA අැඟිලි සලකුණ ලෙස හඳන්වන අතර කිසිම පුද්ගලයන් දෙදෙනෙකුට මෙය සමාන නොවේ. ඉහත රූපය පරිදි වැඩකාරයා S4 බව පෙනේ.
 පින්තූරය මෙතැනින් ය : http://chsweb.lr.k12.nj.us/mstanley/outlines/fingerprint/fingerprint.htm )


අමුත්තාගේ කෙස් වෙනුවට තිබුනේ මයිල් බැවින් කතුරක් ගෙන විත් අමුත්තාට නොරිදෙන සේ අමුත්තාගේ වලිගයෙන් මයිල් ගස් කීපයක් කපා ගන්නා ලදී.

අමුත්තා ද "මොකද්ද යකෝ මූ මට කරන්න හදන්නෙ" වැනි හැඟීමකින් බලා සිටිමින් අලියාගේ පර්යේෂණයට සෑහෙන්න උපකාර කල බව සඳහන් කල යුතුය.

කෙස් වල DNA තිබුනාට එය ඇත්තේ කෙස් ගසේ මුල වූ සජීවී සෛල වල බව අලියාගේ මීටරයට හසු වී නොතිබුණි.

මුලින්ම අලියාගේ බල්බ් කටු ප්ලාස්කුව උණුවතුර බෝතලේ වූ වතුරෙන් සෝදා ජීවාණුහරණය කරන ලදී

ඊලඟට කපාගත් මයිල්ගස් එය තුලට දමා ඇල් වතුර ටිකක් දමන ලදී.

මීලඟට මාධ්‍යට පෝෂක සපයන ලදී. ප්‍රෝටීන ලබා දීමට කුකුල් මස් හොඳි තේ හැන්දක් හා විටමින් ලබා දීමට පොඩි කරගත් ගස් ලබු කෑල්ලක් වශයෙනි.

පූසා ක්ලෝනීකරණය වනතුරු ප්ලාස්කුව කුස්සියේ මේසය උඩ රඳවා තිබූ අතර පහුවදා පාසල් ගොස් එනවිට ප්ලාස්කුව අතුරුදන් වී තිබුණි. සමහර විට පූසා කෙසේ වෙතත් වාතයේ වූ බැක්ටීරියා හා දිලීර හොඳින් ම Clone වූ බව දැන් මට වැටහේ.

විභාග සඳහා කල අති සාර්ථක ජෛවරසායනික අත්හදා බැලීමක් ලබන සතියේ.

Friday, June 21, 2013

අලිසීන්- ගමන් මග - 01

මේ කතන්දරය කිව යුතු හොඳම අවස්ථාව මේ යැයි සිතමි. මේ වන විට මවිසින් විඳිමින් (හා තරමක් විඳවමින් ) සිටින්නේ අදින් වසර හතර පහක සිට බලාපොරොත්තුවෙන් සිටි කාලයකි.

මේ යුගයේ නිතර කතා කරන මාතෘකා අතර ජෛව රසායනය,  අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය යන විද්‍යා අංශයන් ප්‍රධාන වේ.

පසුගිය වසරේදී රසායන විද්‍යා ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට සහභාගී වූ මට මම ඉහත කී විද්‍යාංශයන්ට ඇති විශේෂ කැමැත්ත කුමක්දැයි නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දීමට නොහැකි උවද පසුව නිවී සැනසිල්ලේ සිටියදී පිලිතුර ගොඩ නැගීමට ගත් උත්සාහය කාලතරණ යන්ත්‍රයක් බවට පත්  වී මා කාලය හරහා අතීතයට ගෙන යාමට සමත් විය.

පලමු කරුණ නම් අලියා යනු ගණිතයට එතරම් ප්‍රියමනාප කමක් නැති තැනැත්තෙකු වීමය.

ඉතුරු ටික අතීත හේතු ය.

මම පොත් කියවීමට බෙහෙවින් ප්‍රිය කරමි.  විශේෂයෙන් විද්‍යා අංශ වල පොත් පත්.

අචාර්ය ඒබ්‍රහම් කෝවුර් ගේ දෙවියෝ සහ භූතයෝ  මගේ අතට  අසු වුනේ තුන වසරේදී ය. මෙහි ඇති කරුණු වලට එකඟ වීම හෝ නෝවීම කෙසේ වෙතත් මේ පොත කියවීමෙන් සෑහෙන විනෝදයක් ලදිමි. කිවයුත්තක් ඇත. මේ පොතෙහි ඇතැම් කරණු එවකට තරරම් ගත නොහැකි විය. දැන් නං අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැටහේ.

මූලිකවම ජෛව රසායනික කරණු ඉගෙන ගත්තේ මේ පොත් පත් ඇසුරිණි.

මේ හැරණු විට රූපවාහිණී නාලිකාවක විකාශය වූ විද්‍යා වැඩසටහනක් බලාගෙන බිත්තර කටු සහ විනාකිරි වලින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට එවකට සාර්ථක උත්සාහයක් ගෙන තිබුනත් ඔක්සිජන් නිපදවීමට ගත් සියලු තැත් අසාර්ථක විය. පොටෑසියම් පර්මැංගනේට් හෙවත් කොන්ඩිස් නම් ද්‍රව්‍යයක් රත් කිරීමෙන් ඉහත කටයුත්ත එකම එක වරක් පමණක් කර තිබුණි.

රූපවාහිනියේ දුටු දේ මතක තියාගෙන ඉහත ඒවා කල නමුදු ඉහත ද්‍රවය වලින් කොපමණ ප්‍රමාණ අවශ්‍ය වීද ද නිපදවීද නැත්නම් වැය වීද යන්න ගැන මට අවබෝධයක් නොවූ අතර ඒවා සෙවීමට ද තැත් නොකලෙමි.

වසර දෙදාස් එකේ දි අපි වරකාපොල - මාහේනට සමු දී පස්යාලට පැමිණියෙමු. එයට සමාන්තරව තුල්හිරිය කණිෂ්ට විද්‍යාලයට සමු දී වේයංගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලු වීමි.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා පරණ බැටරි වල අන්තර්ගත ද්‍රවය භාවිතයෙන් ඔක්සිජන් නිපදවීමට ගත් උත්සාහය දෙදාස් එකේදී සාර්ථක විය.

ප්‍රථමයෙන් ජානය නම් වචනය හඳුන්වා දුන්නේ බණ්ඩාරනායක මැදි විදුහලේ ගුරුවරයෙකු වූ ඩඩ්ලි පෙරේරා මහතාය.

එතුමා උගන්වන ලද්දේ තාක්ශණික කුසලතා නම් විෂය යටතේ උද්‍යාන අලංකරණය වැනි යමකි. ජාන මගින් විවිධ ගස්වල හා මල් වල ලක්ශණ යාමනය වන අයුරු ගැන එතුමාගේ පලමු පාඩමේදී පැය එකහමාරක් පමණ තිස්සේ කල විස්තරය මම කට ඇරගෙන අසා සිටියෙමි.

එතුමා උස තැනැත්තෙකු විය. පුටුවේ වාඩි වන සෑම අවස්ථාවකම කකුලක් පිට කකුලක් දමා වාඩි විය.

ඉහත කාලපරිජේද දෙක අවසානයේ විවේක කාලය ලබා දෙන ලදී. මින් පසු කාලපරිඡේදයේ නියමව තිබුනේ දෙමළ ය.

දිනේශ් නම්වූ තරුණ දෙමළ ගුරවරයා පන්තියට පැමිණි කල්හි මා කරකවා අත හැරියාක් මෙන් විය....

මම ලඟ සිටි කෙනාගේ (මතක ඇති පරිදි රුක්ෂාන්, නොහොත් මැක්කා) කණට ලං වීමි..

"මෙයා ඩඩ්ලි සර්ගෙ පුතෙක් ද දන්නෑ නේ.....?"

- "ඇයි එහෙම ඇහුවෙ?"

"මෙයා ඇරපු අතක් නෑ ඩඩ්ලි සර් වගේමනෙ"

- "හැබෑම නේන්නං, ඒ වගේමනෙ"

දිනේශ් මහතා ද උස තැනැත්තෙකු වූ අතර පුටවේ වාඩි වූ සෑම විටකම ඩඩ්ලි සර් පරිද්දෙන්ම කකුලක් පිට කකුලක් දමා ගත්තේය.

දිනේශ් සර් ඩඩ්ලි සර් ගේ කවුරුවත් ද යන්න දැනගැනීමට මවිසින් උත්සහ නොදැරූ අතර අහම්බෙන් වත් දැනගැනීමට ද නොහැකි විය.

අල්ලපු ගෙදර පූසා ක්ලෝනීකරණය කල අයුරු බලාපොරොත්තු වන්න.

පසුගිය දිනවල වැඩ අධික විය. විභාගය අවසාන වනවාත් සමගම practical පටන් ගති. සමාවන්න.

style එක මදක් වෙනස් කලෙමි. ඒ ගැන අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.