Wednesday, June 26, 2013

අලිසීන් - ගමන් මග 02

පස්යාලේ සිටියදී අප නිවස අවට තිබුනේ නිවෙස් කීපයකි. මතක පරිදි හතරකි

මින් එක නිවසක සිටි ඇන්ටි සහ අංකල් ආසන්න නගර වල වූ පාසල් වල ගුරවරු වූහ. ඒ ඇන්ටි එවකට ඉගන්වුවේ උසස් පෙල ජීව විද්‍යාවයි. මේ යුවලට පොඩි බට්ටන් දෙදෙනෙකු ද සිටි අතර එම නිවසේ පූසෙක් ද විය.

පූසා අලියා සමග විශේෂ හිතවත්කමක් හෝ තරහක් බයක් නොවීය

අලියා පහ වසරේ සිටින කාලයේ සිට ම එකල ජනප්‍රිය ළමා පත්තරයක්  මිලදී ගැනීමට පුරුදු ව සිටියේය. ඇත්තෙන්ම මෙලෙස කිරීමට උපදෙස් දෙන ලද්දේ පහවසරේ දී ඉගැන්වූ රෝහණ සර් ය.

ජෛව විවිධත්ව දිනයක් සඳහා මෙහි පලකල ප්‍රශ්ණ සහ උත්තර වගයක් අහම්බයෙන් නෙත ගැටුනි. කියවාගෙන යන අතරේ එහි වූ ප්‍රශ්ණ දෙක තුනක් අලියාගේ අවධානයට ලක් විය.

ප්‍රශ්ණ තුනම මතක නැත, එකක අසා තිබුනේ DNA වල සංඝටක මොනවාද යනුවෙනි. පොස්ෆේට් ඛාණ්ඩය, පෙන්ටොස් සීනි ඛාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම යන පිලිතුර ද සනිටුහන් කර ගතිමි.

දෙකයි හතලිස් පහට ගෙදර පැමිණ නාගෙන කෑම කා නිදාගත් පසු, හවස හතරට ඇහැරුණු වහාම ගියේ අල්ලපු ගෙදර ටීචර් ඇන්ටිගේ ගෙදර ය. කෙලින්ම නිවසට ගොස් ඇන්ටී හමු වූ  අලියා (දෙන දෙයක් කා අනතුරුව) කෙලින්ම කාරණයට බැස්සේය....

"ඇන්ටි මට DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"

- "ංඈ???????"

"DNA ගැන තියන පොතක් දෙකක් දෙන්න පුලුවන්ද?"

- "දෙන්නං... මං ප්‍රශ්ණයක් අහන්නද?"

"මොකද්ද ඇන්ටි?"

-"DNA කියන එකේ තේරුම මොකද්ද?"

"Deoxyribo Nucleic Acid"

-"හරියට හරි... එහෙනං පොඩ්ඩක් ඉන්න..."

කාමරයට ගිහ ඇය එලියට ආවේ පොත් දෙකක් ඇතුවය.

"මේක බලන්නකො? පස්සෙ වෙලාවක ගෙනත් දෙන්න.."

ගෙදර ගෙනා සැනින් පොත් ටික විසිතිස් වතාවක් පට්ට ගසන ලදී. එහි වූ පොස්ෆේට් ඛාණ්ඩ, නයිට්‍රජනීය භෂ්ම ඛාණ්ඩ, Ribose හා Deoxyribose ඇතුලු විවිධ අණු ගණනාවක ව්‍යුහ ගෙදර වූ අඩක් ලියා අවසාන කර තිබූ පොත් පත් වලට පිටපත් විය.

තවද මෙය ලියන අවස්ථාවට සති දෙකයි දවස් තුනකට පෙර ඉගෙනගත් ග්ලයිකොලිසිය, තව දවස් හතරකින් උගන්වතියි සිතිය හැකි ක්රෙබ්ස් චක්‍රය ආදී ප්‍රතික්‍රියා ද එලෙසම පිටපත් කරගන්නා ලදී.

මේ පිටපත් කල ව්‍යුහ හා ප්‍රතික්‍රියා ලියූ පොත් පිටු බලාගෙන අලියා කල්පනා කලේ එකම එක කරුණකි.

"දැං මං කොහොමද මේ සංයෝග හදන්නෙ?"



මේ දිනවල තමත් වැදගත් වැඩක් සිදුවිය, එනම් The X Files හාThe Incredible Hulk විකාශය වීමට පටන් ගැනීමයි.

The Incredible Hulk හි සිටින වෛද්‍යවරයා ගැමා විකිරණ වලට නිරාවරණය වේ. එබැවින් සිදුවන DNA විකෘතිය නිසා මොහුගේ පුෂ්පය විකසිත වන සෑම අවස්ථාවකම කොළපාට යෝධයෙක් බවට පත් වේ.




"Genetics වලිං මේ වගේ එකෙක්ව හදාගත්තොත් ඌට කියල  මගෙං ගේම ඉල්ලන උංව අල්ට්‍රාෆ්ලැට් කරෑකි නේ..." අලියාට සිතුනි.

දිනක් අලියා කුස්සියේ දොරකඩ ෆුල් ෆන් එකේ සිටියදී ගේ පැත්තට අමුත්තෙක් එන බව පෙනුනි. නිවී සැනසිල්ලේ පැමිණි තැනැත්තා අලියාට ආමන්ත්‍රණය කලේය...



"ඤාව්!"


අලියාද පැමිණි තැනැත්තා සමග කතාවට වැටුනි.

-"ඤාව්"

පැමිණි තැනැත්තාට කෝපි කොලයක් උඩ තැබූ කුඩා කුකුල් මස් කෑල්ලකින් සංග්‍රහ කරන ලදී. ඒ මහතා සංග්‍රහය භුක්ති විඳින අතරේ අලියාට මෙබඳු අදහසක් පහල විය.

"මූව Clone  කරන්න ට්‍රයි කරොත් නරකද?"





අලියා කියවා තිබූ තරමින් කෙස් වල DNA තිබේ. අපරාධ ස්ථාන වලින් ලබා ගන්නා කෙස්, ලේ හා තව ඔය මොනමොනාහරි වල ඇති DNA වලින් එම ද්‍රව්‍ය අයිති තැනැත්තා පිලිබඳ අදහසක් ලබාගත හැකිය. විශේෂයෙන්ම, සැක කරණු ලබන කෙනෙකුගෙන් ලබාගත් DNA සමග සැසඳීමට හැකිය.





(විද්‍යාගාර පරීක්ෂණ වලින් පහත පරිදි රටාවක් ලැබේ. මෙය DNA අැඟිලි සලකුණ ලෙස හඳන්වන අතර කිසිම පුද්ගලයන් දෙදෙනෙකුට මෙය සමාන නොවේ. ඉහත රූපය පරිදි වැඩකාරයා S4 බව පෙනේ.
 පින්තූරය මෙතැනින් ය : http://chsweb.lr.k12.nj.us/mstanley/outlines/fingerprint/fingerprint.htm )


අමුත්තාගේ කෙස් වෙනුවට තිබුනේ මයිල් බැවින් කතුරක් ගෙන විත් අමුත්තාට නොරිදෙන සේ අමුත්තාගේ වලිගයෙන් මයිල් ගස් කීපයක් කපා ගන්නා ලදී.

අමුත්තා ද "මොකද්ද යකෝ මූ මට කරන්න හදන්නෙ" වැනි හැඟීමකින් බලා සිටිමින් අලියාගේ පර්යේෂණයට සෑහෙන්න උපකාර කල බව සඳහන් කල යුතුය.

කෙස් වල DNA තිබුනාට එය ඇත්තේ කෙස් ගසේ මුල වූ සජීවී සෛල වල බව අලියාගේ මීටරයට හසු වී නොතිබුණි.

මුලින්ම අලියාගේ බල්බ් කටු ප්ලාස්කුව උණුවතුර බෝතලේ වූ වතුරෙන් සෝදා ජීවාණුහරණය කරන ලදී

ඊලඟට කපාගත් මයිල්ගස් එය තුලට දමා ඇල් වතුර ටිකක් දමන ලදී.

මීලඟට මාධ්‍යට පෝෂක සපයන ලදී. ප්‍රෝටීන ලබා දීමට කුකුල් මස් හොඳි තේ හැන්දක් හා විටමින් ලබා දීමට පොඩි කරගත් ගස් ලබු කෑල්ලක් වශයෙනි.

පූසා ක්ලෝනීකරණය වනතුරු ප්ලාස්කුව කුස්සියේ මේසය උඩ රඳවා තිබූ අතර පහුවදා පාසල් ගොස් එනවිට ප්ලාස්කුව අතුරුදන් වී තිබුණි. සමහර විට පූසා කෙසේ වෙතත් වාතයේ වූ බැක්ටීරියා හා දිලීර හොඳින් ම Clone වූ බව දැන් මට වැටහේ.

විභාග සඳහා කල අති සාර්ථක ජෛවරසායනික අත්හදා බැලීමක් ලබන සතියේ.

14 comments:

  1. අයියෝ..මයිල් කපන්නේ නැතුව ගලවලා ගත්තනම් අරූව ක්ලෝන් කරගන්න තිබ්බා.. හිහි

    ReplyDelete
    Replies
    1. වෙන්නත් අැති. හැබැයි මයිල් ගැලෙව්වනං ෂුවර් එකටම උෟ මාව clone කරනව. :D

      Delete
  2. :p ;Dපිස්සු අලියා

    ReplyDelete
    Replies
    1. එ්කනං ඉතිං එහෙම තමයි.

      Delete
  3. එහෙනං මයිල් කපාගන්න ඕන වුනොත් එන්නංකෝ අලියව හොයාගෙන. ඉන්නෙත් පස්යාලෙනේ . මට බොහොම ළගයි.

    ReplyDelete
    Replies
    1. එ්කෙං කෙළවෙන්නෙත් මටම තමා :D
      අලිය දැං ඉන්නෙ පස්යාලෙ නෙවෙයි... මීගමුවෙ... මං පස්සෙ කියන්නංකො.

      Delete
  4. පව් අහිංසක පූසා....

    ReplyDelete
    Replies
    1. අපෝ මයිල් ගස් දෙකතුනයි කැපුවෙ. උෟට ඔ්න්නං ඔය ඔ්න තරං තියෙන්නෙ :D

      Delete
  5. බොහෝ කලකින් බ්ලොගයට ගොඩ වුණෙමි... විභාග මානසිකත්වය මඳකට පහවී බඩ පැලෙන්න පොඩ්ඩක් අඩුවෙන් හිනාවීමී... එල!!!

    ReplyDelete
    Replies
    1. මා නිසා කෙනෙකු හිනා උනා නම් මහත් සේ සතටු වෙමි. විභාගයට සුභපැතුම්. හැකි තරම් past papers කරන්න. ජයවේවා.

      Delete
  6. මටත් අද දවල් තමා තේරුනේ මටත් එහෙම යමක් තියනව කියල. ඊලඟ කෑල්ල තවත් රසවත් :D

    ReplyDelete